
රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ බව කියන දැවැන්ත මූල්‍ය වංචාවකට අදාළව පලා ගොස් සිටින සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මහජන සහය පතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් මෙම වංචාව සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතියි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන පරිදි, මෙම වංචාව සිදු කර ඇත්තේ Rainbow Garments Technologies (pvt) Ltd නමින් පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයක් හරහාය. රුමේනියාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් පුද්ගලයින්ගේ මුදල් ලබාගෙන විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී පරිහරණය කිරීම යන චෝදනා යටතේ මෙම ආයතනයට එරෙහිව පැමිණිලි ලැබී තිබේ. සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ආයතනය විසින් පුද්ගලයින් 750 කට පමණ පිරිසකගෙන් රුපියල් කෝටි 92 කට අධික මුදලක් මෙලෙස වංචා කර ඇති බවයි.
මෙම සිද්ධියට අදාළව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, අදාළ සමාගමේ අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර ඇත. මෙලෙස වරෙන්තු ලබා ඇති සැකකාරිය වන්නේ හෝමාගම, මාගම්මන, සමගි මාවතේ, අංක 118/3 දරන ලිපිනයේ පදිංචිව සිටි 54 හැවිරිදි ෂර්ලි ජයවර්ධන අමදෝරු නැමැත්තියකි. ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය වන්නේ 716032531V ය.
මේ වන විට සිය ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටින මෙම සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපතිවරයාගේ 071-8594910 යන දුරකථන අංකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011-2444172 යන දුරකථන අංකයට තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දන්වා සිටියි.