
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මාසයක පමණ කාලයක් සිදු කරන ලද පුළුල් බුද්ධි විමර්ශනයකින් අනතුරුව, ඇමෙරිකානු ඩොලර් හත් ලක්ෂයක ව්‍යාජ නෝට්ටු තොගයක් සමඟ 54 හැවිරිදි කාන්තාවක් කොටිකාවත්ත ප්‍රදේශයේදී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සොයාගත් විශාලතම ව්‍යාජ විදේශීය මුදල් තොගයක් ලෙස සැලකෙන මෙම ඩොලර් සියයේ නෝට්ටු 7,000ක ප්‍රමාණයේ මෙරට වටිනාකම රුපියල් කෝටි 21ත් 26ත් අතර අගයක් ගන්නා බව පොලිසිය ප්‍රකාශ කරයි.
කොටිකාවත්ත, මීගහවත්ත පාරේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය මීට පෙර කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලා කිහිපයක් පවත්වාගෙන ගිය තැනැත්තියක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම සමාජ ශාලාවලට පැමිණි පාකිස්තානු ජාතිකයෙකු හරහා ඇය මෙම ව්‍යාජ නෝට්ටු ජාවාරමට සම්බන්ධ වී ඇති අතර, අදාළ පුද්ගලයා විසින් පාකිස්තානයේ සිට මෙම මුදල් ඉතා සූක්ෂම ලෙස මුද්‍රණය කර මෙරටට රැගෙන විත් ඇති බවට සැක කෙරේ. වර්තමාන වෙළෙඳපොළේ ඩොලරයක වටිනාකම රුපියල් 340ක් ඉක්මවා ගොස් තිබුණද, මෙම කාන්තාව කෝටිපති ව්‍යාපාරිකයන් ඉලක්ක කරමින් එක් ඩොලරයක් රුපියල් 284ක් වැනි අඩු මුදලකට අලෙවි කර ඇත. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා මුලින් සැබෑ ඩොලර් නෝට්ටු කිහිපයක් ලබා දී, පසුව ව්‍යාජ නෝට්ටු තොග වශයෙන් ලබා දීම ඇයගේ ප්‍රධාන උපක්‍රමය වී තිබේ.
මෙම දැවැන්ත ව්‍යාජ මුදල් ජාවාරම පිටුපස ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ කළු සල්ලි සුදු කිරීමේ ක්‍රියාවලියක් පවතින්නේද යන්න පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුවී ඇත. විශේෂයෙන්ම ඉරානය වැනි රටවලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ජාත්‍යන්තර නැව් සඳහා තැන්පතු හෝ 'ෂෝ මනි' (Show Money) ලෙස පෙන්වීමට මෙවැනි ව්‍යාජ නෝට්ටු භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති අතර, මෙම කාන්තාව හරහා ඩොලර් ලක්ෂ 25ක පමණ ව්‍යාජ මුදල් ප්‍රමාණයක් මේ වන විටත් රත්තරන් සහ මැණික් මිලදී ගැනීම් හරහා වෙළෙඳපොළට මුදාහැර ඇති බවට ද බලධාරීහු සැක පළ කරති.