හෙදියගේ 14 හැවිරිදි පුතාව පැත්තකට ගෙන ගොස් අතවර කළ හබරණ වෛද්‍යවරයා


 හබරණ ග්‍රාමීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් වෛද්‍ය නේවාසිකාගාරය තුළදී 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකුට ලිංගික අතවර සිදු කිරීමේ සිදුවීමක් වාර්තා වේ. මෙම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අදාළ වෛද්‍යවරයාව හබරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විමර්ශනවලට අනුව, අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා 36 වැනි වියේ පසුවන අනුරාධපුර, සාලිය වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතවරයට ලක්වූ බාලවයස්කාර දරුවාගේ මව මෙම රෝහලේම හෙදියක ලෙස සේවය කරන අතර, ඉකුත් 18 වැනිදා රාත්‍රී කාලයේදී මෙම දරුවා සිය මව හමුවීම සඳහා රෝහල් පරිශ්‍රයට පැමිණ තිබේ.

එම අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා විසින් දරුවාව වෛද්‍ය නේවාසිකාගාරය තුළට කැඳවාගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදු කර ඇති බව හබරණ පොලිසියේ නිලධාරියෙකු මාධ්‍ය වෙත තහවුරු කර ඇත. සිද්ධියට මුහුණ පෑ බාලවයස්කාර පිරිමි දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මත පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ වන විට අදාළ දරුවාව වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි. පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු සැකකාර වෛද්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Post a Comment (0)
Previous Post Next Post