
කොස්ගම ප්‍රදේශයේ තාවල්ගොඩ ඇළේ ගිලී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් මිහිදන් කර තිබූ ප්‍රනාගම සුසාන භූමියේ පිහිටි සොහොන් ගැබ් දෙකක් අද්භූත කටයුත්තක් සඳහා කිසියම් පිරිසක් විසින් හාරා තිබේ. සිය බිරිඳ වැළඳී ඇති බව කියන යක්ෂ දෝෂයක් දුරු කිරීම සඳහා මහියංගණ ප්‍රදේශයේ සිට පැමිණි මන්ත්‍රීගුරු කණ්ඩායමක් විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසු කොස්ගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර, ඒ සඳහා අවට ප්‍රදේශයේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ. එම දර්ශනවලින් අනාවරණය වී ඇත්තේ යක්ෂ පිදේනි පූජාව සඳහා අවශ්‍ය උපකරණ තොගයක් ලොරි රථයකින් සහ යතුරුපැදියකින් එම ස්ථානයට රැගෙන ආ පිරිසක් පසුව එම දේහයන් මිහිදන් කර තිබූ සොහොන් හාරා අඩි දෙකක පමණ ගැඹුරක් දක්වා එම චාරිත්‍ර වාරිත්‍ර සිදුකර ඇති බවයි.
සැකකටයුතු සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු සිය බිරිඳගේ රෝගය සුව කරගැනීම සඳහා මෙම මන්ත්‍රීගුරු පිරිස සමඟ එක්ව කටයුතු කළ බව පිළිගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති අතර, අධිකරණ නියෝගය මත අදාළ සොහොන් ගැබ් නැවත වසා දමන ලෙස මියගිය තරුණයින්ගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය හේතුවෙන් පසුගිය අඟහරුවාදා සන්ධ්‍යාවේදී එම සුසාන භූමිය අවට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර, සොහොන් ගැබ් තුළ තිබූ මිනී පෙට්ටිවලට හානි වී ඇත්දැයි සැක මත ප්‍රදේශවාසීන් විසින් නැවතත් එම වළවල් හාරා පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත. සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීගුරු කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.