පෙම්වතා මරා දින 9 ක් තිස්සේ අපාර්ට්මන්ට් එකේ තබාගත් ලන්ඩන් පෙම්වතිය

 තමන්ට වෙනත් කාන්තාවක් මුණගැසුණු බව පැවසූ සිය පෙම්වතාට පිහියෙන් ඇන ඝාතනය කර, ඔහුගේ සිරුර දින නවයක් පුරා ඔවුන් එකට ජීවත් වූ මහල් නිවාසයේ සඟවා තබා ගත් බව කියන කාන්තාවකට එරෙහිව ලන්ඩනයේ ඕල්ඩ් බේලි අධිකරණයේ නඩු විභාගයක් ආරම්භ වී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සිටිබෑන්ක් (Citibank) ආයතනයේ සේවය කළ ඩෙන්මාර්ක ජාතික 52 හැවිරිදි හෙන්රික් ස්ලොට්සා නැමැති බැංකු නිලධාරියෙකි.

මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නේ ඔහුගේ පෙම්වතිය වන පෝලන්ත ජාතික 50 හැවිරිදි ජොආනා සියර්ප්කා නැමැත්තියයි.

පසුගිය මාර්තු 15 වැනිදා පොලිසිය දකුණු ලන්ඩනයේ පිහිටි අදාළ මහල් නිවාසයේ දොර කඩාගෙන ඇතුළු වී ඇත්තේ චූදිත කාන්තාව විසින් තමන් සියදිවි හානිකර ගන්නා බවට ඉඟි කරමින් යැවූ විද්‍යුත් තැපෑලක් හේතුවෙනි. පොලිස් නිලධාරීන් නිවසට ඇතුළු වන විටත් ඇය අඟල් අටක මුළුතැන්ගෙයි පිහියකින් සිය ගෙල කපා ගැනීමට උත්සාහ කරමින් සිට ඇති අතර, නිවසේ නිදන කාමරයක් තුළ තිබී ස්ලොට්සා මහතාගේ නරක් වී ගිය මළ සිරුර සොයා ගැනීමට ඔවුහු සමත් වූහ. එම අවස්ථාව වන විටත් සිරුර අසල වියළී ගිය ලේ තට්ටුවක් ද දක්නට ලැබී ඇත.

අධිකරණයේදී කරුණු දැක්වූ රජයේ නීතිඥ ඩැනී රොබින්සන් ප්‍රකාශ කර සිටියේ, පෙම්වතාගේ ඝාතනය ඇය විසින් සිදු කළ බවට කිසිදු විවාදයක් නොමැති බවයි. චූදිත කාන්තාව සිය මානසික තත්ත්වය මත පදනම්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට වරද පිළිගෙන ඇති නමුදු, පැමිණිල්ල විසින් ඇයට එරෙහිව සිතාමතා කළ මිනීමැරුමක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබේ. අධිකරණයේදී තවදුරටත් අනාවරණය වූ පරිදි මොවුන් දෙදෙනාගේ සබඳතාවය මාස කිහිපයක සිටම පිරිහෙමින් පැවතී ඇත. ස්ලොට්සා මහතා 2025 නොවැම්බර් මාසයේ පැවති ආයතනික උත්සවයකදී හඳුනාගත් වෙනත් සේවිකාවක් සමඟ සමීප වී ඇති අතර, සියර්ප්කාගේ උපන්දිනය දා ඔහු තමන්ට රැකියාව කරන ස්ථානයේදී වෙනත් අයෙකු මුණගැසුණු බව ඇයට පවසා තිබේ.

මීට පෙර බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ අලෙවි අංශයේ සේවය කළ සියර්ප්කා, සිය රැකියාව අහිමි වීමෙන් පසු දැඩි මානසික පීඩනයකින් පසුවී ඇති බව ඇගේ මිතුරන් පවසා ඇත. ඇය විසින් ස්ලොට්සා මහතා ඝාතනය කිරීමෙන් අනතුරුවද ඔහුගේ ජංගම දුරකථනයෙන් වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ යවමින් ඔහු අසනීපයෙන් පසුවන බවට ඔහුගේ කළමනාකරු වෙත ව්‍යාජව හැඟවීමට ද කටයුතු කර තිබේ. අදාළ නිවස තුළ තිබී හිස් මත්පැන් බෝතල් රැසක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මෙම සිදුවීමට අදාළ නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Post a Comment (0)
Previous Post Next Post