සිවිල් ආරක්ෂක නිලධාරිනියන් දෙන්නාගේ මරණ පරීක්ෂණයේදී හෙළිවූ දේ

 අනුරාධපුරයේ පිහිටි පූජනීය ස්ථානයක භාරයක් ඔප්පු කිරීම සඳහා යමින් සිටියදී දකුණු කළුතර දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටීමෙන් සිවිල් ආරක්ෂක බලකා නිලධාරිනියන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී, එම මරණ දුම්රියේ ගැටීමෙන් සිදුවූ බහුවිධ තුවාල නිසා සිදුවූවක් බව නිගමනය කෙරිණි. කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිලුක්ෂිනී මහත්මිය හමුවේ මෙම පරීක්ෂණය පැවැති අතර, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී.ගුණතිලක මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹෙන ලදී.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මතුගම, මහ කළුපහන පදිංචිව සිටි 58 හැවිරිදි විතාන ගමගේ රේණුකා දමයන්තී සහ අගලවත්ත, උඩවෙල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දෙවෙනි ගුරුගේ ශ්‍රියානි නමැති කාන්තාවන් දෙදෙනාය. මොවුන් දෙදෙනාම සේරුපිට සිවිල් ආරක්ෂක බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ නිලධාරිනියන් බව හෙළිවී තිබේ.

සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි ශ්‍රියානි නැමැත්තියගේ 16 හැවිරිදි දියණිය වන සිතුමිණි ජයනෙත්ති සාක්ෂි ලබාදෙමින් පැවසුවේ, සිය මව සහ ඇගේ මිතුරිය සමග අනුරාධපුර යෑම සඳහා අලුයම බස් රථයෙන් කළුතරට පැමිණි බවයි. අනතුරුව ක්‍රීඩාංගණය අයිනෙන් දුම්රිය මාර්ගයට අවතීර්ණ වී දුම්රිය ස්ථානය දෙසට ගමන් කරමින් සිටියදී නොසිතූ ලෙස දුම්රියක් පැමිණි බව ඇය සඳහන් කළාය.

දුම්රිය ළඟටම පැමිණි බව දුටු සැණින් තමන් අත තිබූ බෑග් දෙක දුම්රිය වේදිකාවට විසි කර වහාම වේදිකාව මතට ගොඩවූ බවත්, මව සහ අනෙක් කාන්තාවද උඩට ගැනීමට උත්සාහ කළද ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොතිබූ බවත් ඇය පැවසුවාය. එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා දුම්රිය වේදිකාව බදාගැනීමට උත්සාහ කළද, සැණින් පැමිණි දුම්රියේ ගැටී ඈතට විසිවී ගිය බව දියණිය වැඩිදුරටත් කියා සිටියාය.

මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිය ශ්‍රියානිගේ සැමියා වන සෙනරත් ජයනෙත්ති මහතා ප්‍රකාශ කළේ තමන් අධි රුධිර පීඩන තත්ත්වයෙන් පසුවූ බැවින් මෙම ගමනට එක් නොවූ බවයි. එමෙන්ම මියගිය රේණුකා දමයන්තීගේ දියණිය වන ලක්ෂිකා මධුෂානි සාක්ෂි දෙමින් කියා සිටියේ, තම මව අනුරාධපුර යෑම සඳහා අලුයම නිවසින් පිටත්වූ බවත්, මතුගම බස් නැවතුම්පොළට ඇය ඇරලවීමෙන් පසු උදෑසන මෙම අවාසනාවන්ත අනතුර පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබුණු බවත්ය.

Post a Comment (0)
Previous Post Next Post