බයිික් එකේ පූසෙකු වැදුණ අනතුරින් සිවිල් ආරක්ෂක නියාමක මරුට

 හදිසියේම මාර්ගය හරහා පැනගිය පූසකු යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටි සිවිල් ආරක්ෂක නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර සිවිල් ආරක්ෂක කලාපීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ 53 හැවිරිදි ජයරත්නගේ ප්‍රියන්ත වීරවර්ධන දිසානායක නැමැති නිලධාරියෙකි.

ඔහු අංක 112, ඇලපත්ගම, පූවරසන්කුලම යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකි.

මෙම අනතුර සිදුව ඇත්තේ ඉකුත් 9 වැනිදා පෙරවරු 9.15 ට පමණ දිවුල්වැව 4 ඇළ මාර්ගයේ ඇලපත්ගම ප්‍රදේශයේදීය. එදින උදෑසන ඔහු සිය නිවසේ සිට පූවරසන්කුලම ප්‍රදේශයේ වෙළඳසැලක් වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

එහිදී මාර්ගය හරහා එක්වරම පැනගිය බළලෙකු යතුරුපැදියේ ගැටීමෙන් එම සිවිල් ආරක්ෂක නිලධාරියා යතුරුපැදියෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. අනතුරින් පසු ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. එහි දින තුනක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පෙරේදා (13) මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව පරසන්ගස්වැව පොලිසිය විසින් වැඩිදුරටත් තහවුරු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ රථවාහන අංශය විසින් මේ වනවිටත් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Post a Comment (0)
Previous Post Next Post