
ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරි වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. ඊට හේතු වී ඇත්තේ අයිස් මත්ද්රව්ය ළඟ තබා ගැනීමේ අසත්ය චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් කිසිදු සාධාරණ සොයා බැලීමකින් තොරව පොලිස් සටහන් පොත්වල ව්යාජ තොරතුරු ඇතුළත් කිරීමයි.
වාර්තා වන ආකාරයට පසුගිය තුන්වැනිදා ඇහැළියගොඩ පොලිසියේ සැරයන්වරයෙකු විසින් තනිවම පොලිස් ජීප් රථයක් පදවාගෙන පල්ලේගොඩ ප්රදේශයට ගොස් ඇත. එහිදී ඔහු විසින් මෙම තරුණයින් දෙදෙනා අයිස් මත්ද්රව්ය සන්තකයේ තබාගෙන සිටියේ යැයි පවසමින් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ. මෙම සිදුවීම වන දින අදාළ ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ඇහැළියගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙසද රාජකාරි ආවරණය කරමින් සිට ඇත.
අත්අඩංගුවට පත් වූ තරුණයින් දෙදෙනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකළ මෙම නිලධාරියා, අදාළ අත්අඩංගුවට ගැනීම තමන් විසින් සිදු කළ බවට පොලිස් සටහන් පොත්වල අසත්ය තොරතුරු ගොනු කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු ප්රකාශ කර තිබේ. මෙම තත්ත්වය මත සබරගමු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සෘජු උපදෙස් මත මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්රියාත්මක කර ඇත. එහිදී හෙළි වූ තොරතුරු පදනම් කරගනිමින් අදාළ ප්රධාන පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරි වැඩ පෙරේදා දිනයේදී මෙලෙස තහනම් කර තිබේ.