මැන්චෙස්ටර් දුම්රියේදී මවකට 'රහසඟ' පෙන්නන්න ගිය නිසාන් ප්‍රනාන්දු මාස 14 ක් හිරේ

 එංගලන්තයේ පොදු ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවකට සහ දැරියන් දෙදෙනෙකුට අවස්ථා කිහිපයකදී ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් තිස්නව හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය විසින් මාස දහහතරක (අවුරුද්දක් සහ මාස දෙකක) සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ මීට වසර 4 කට පෙර (2022) ධීවරයෙකු ලෙස රැකියාව කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයට පැමිණ පසුව ඇල්ට්‍රින්හැම් ප්‍රදේශයේ ජීවත් වූ නිසාන් ප්‍රනාන්දු කුරුකුලසූරිය නමැති පුද්ගලයෙකුටය.

පසුගිය අප්‍රේල් මස 20 වැනිදා ස්ටෝක් සිට මැන්චෙස්ටර් දක්වා ධාවනය වූ දුම්රියකදී මොහු විසින් එක් කාන්තාවකට බරපතළ ලෙස ලිංගික අතවර කර ඇත. සිය දරුවන් සමග දුරකථනයෙන් කතා කරමින් සිටි අදාළ කාන්තාව අසල අසුන්ගෙන ඇති මෙම පුද්ගලයා, ඇයගේ සිරුර ස්පර්ශ කරමින් අතවර කර ඇති අතර, ඇය ඔහුව ඉවතට තල්ලු කළද ඔහු එම ක්‍රියාව නැවත නැවතත් සිදු කර තිබේ. ඉන් අනතුරුව ඔහු සිය ලිංගික අවයව නිරාවරණය කරමින් ඇය ඉදිරියේ අශෝභන ලෙස හැසිරී ඇති බවත්, කාන්තාවගේ කෑගැසීමත් සමග ඔහු එම ස්ථානයෙන් පලාගොස් ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය. කෙසේ වෙතත්, වින්දිත කාන්තාව දුම්රිය සේවකයින්ට කළ දැනුම් දීමකට අනුව මැන්චෙස්ටර් පිකඩිලි දුම්රිය ස්ථානයේදී බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම දුම්රිය සිදුවීමට පෙර, එනම් පසුගිය වසරේ ඔක්තෝබර් 20 වැනිදා ටේම්සයිඩ් ප්‍රදේශයේ ධාවනය වූ බස් රථයක් තුළදී ද මොහු අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවූ නව යොවුන් වියේ දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කර ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත. පළමුව 17 හැවිරිදි දැරියගේ කකුලක් ස්පර්ශ කරමින් අතවර කර ඇති මොහු, පසුව 16 හැවිරිදි දැරිය අසලට ගොස් ඇයට ද එලෙසම අතවර කර තිබේ. එහිදී එක් දැරියක් විසින් ඔහු බස් රථයෙන් බැස යන විට ලබාගන්නා ලද ඡායාරූපයක් සහ අප්‍රේල් මාසයේ දුම්රියේ සිදුවීමෙන් පසු ලබාගත් ඩීඑන්ඒ (DNA) සාම්පල පරීක්ෂාවකින් අනතුරුව මෙම බස් රථයේ සිදුවීමට ද සම්බන්ධ සැකකරු ඔහු බවට පොලිසිය විසින් නිශ්චිතවම හඳුනාගන්නා ලදී.

අධිකරණය විසින් ලබාදුන් සිරදඬුවමට අමතරව, වසර දහයක කාලයක් සඳහා බලාත්මක වන දැඩි කොන්දේසි සහිත ලිංගික හානි වැළැක්වීමේ නියෝගයක් ද කුරුකුලසූරියට පනවා තිබේ. ඒ අනුව, පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේදී තමා නොහඳුනන කිසිදු කාන්තාවක් අසල අසුන් ගැනීම ඔහුට සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, වයස අවුරුදු 18ට අඩු කිසිදු දැරියක් සමග වැඩිහිටියෙකුගේ අධීක්ෂණයකින් තොරව ගැවසීම ද තහනම් කර ඇත. තවද, ඉදිරි වසර දහයක කාලය සඳහා ඔහුගේ නම බ්‍රිතාන්‍යයේ ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයට ද ඇතුළත් කිරීමට අධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කර තිබේ.

Post a Comment (0)
Previous Post Next Post