
නීතිය රකින්නට සහ මත්ද්රව්ය උවදුර මැඩපවත්වන්නට සිටින නිලධාරීන්ම නීතිය කඩකරමින් මත්ද්රව්ය ජාවාරමට අතපෙවීමේ බරපතළ සිදුවීමක් වාර්තා වෙයි. වැටලීම්වලදී පොලිස් භාරයට ගන්නා මත්ද්රව්යවලින් කොටසක් රහසිගතව සොරාගෙන, ඒවා යළිත් මත්ද්රව්ය ජාවාරම්කරුවකුටම අලෙවි කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් ඉපයූ බව කියන කඩවත පොලිසියේ දූෂණ මර්දන අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකු පසුගිය 25 වැනිදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳ තොරතුරු හෙළිවන්නේ ඉකුත් 20 වැනිදා වැලිවේරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක ප්රතිඵලයක් වශයෙනි. එහිදී කඩවත, බියන්විල ප්රදේශයේ පදිංචි 'දතා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකු අයිස් මත්ද්රව්ය ග්රෑම් දහයයි මිලිග්රෑම් 340ක් සහ කූෂ් මත්ද්රව්ය මිලිග්රෑම් 420ක් ද සමඟ සැකපිට පොලිස් භාරයට පත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ඔහුට මෙම මත්ද්රව්ය ලැබුණු මාර්ගය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්රශ්න කිරීමේදී මෙම පොලිස් කොස්තාපල්වරයා පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි. ඊට සමගාමීව ජාවාරම්කරුගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන පරීක්ෂා කර ඇති අතර, එහි සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථන අංකය ද සටහන්ව තිබී ඇත. ඔවුන් දෙදෙනා අතර වරින් වර දුරකථන ඇමතුම් ද හුවමාරු වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වූ බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගත් බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට පියවර ගත්තේය. එම පරීක්ෂණවලින් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, අදාළ කොස්තාපල්වරයා පොලිස් වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා මත්ද්රව්යවලින් කොටසක් සොරාගෙන 'දතා' නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම ජාවාරම්කරු වෙත වරින් වර අලෙවි කර තිබේ.
ඒ අනුව තහවුරු වූ කරුණු මත 25 වැනිදා සවස සැකකාර පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් අතර, ඊයේ (26) ඔහු අලුත්කඩේ අංක පහ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්වූ නිලධාරියා 2023 වසරේදී පොලිස් සේවයට එක්වූ අයකු වන අතර, ඔහු හලාවත, ආරච්චිකට්ටුව පොලිස් වසමට අයත් විල්පත ප්රදේශයේ පදිංචිකරුවකු බව ද වාර්තා වේ.