බ්‍රිතාන්‍ය රජ මාලිගයේ රාජකීය වෛද්‍යවරිය ඝාතනය කරලා

 බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකයින්ට (විශේෂයෙන් කැමිලා බිසවගේ රෝග සඳහා) ප්‍රතිකාර කළ වෛද්‍යවරියක වන 45 හැවිරිදි හැනා කේන් (Hannah Cain) ඇගේ නිවසේදී ඝාතනයට ලක්ව ඇති බව අධිකරණයට කරුණු වාර්තා වී තිබේ. දරුවන්ගේ රාත්‍රී සාදයක් පැවැත්වෙමින් තිබියදී ඇගේ සැමියා විසින් ඇයව ගෙල සිරකර සහ පහර දී ඝාතනය කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

පසුගිය ඉරිදා අලුයම 2:25 ට පමණ ගිලන්රථ සේවය විසින් පොලිසියට දැනුම් දී ඇත්තේ නෝෆෝක් (Norfolk) හි ඩර්සිංහැම් (Dersingham) ගම්මානයේ නිවසක සිදුවූ බව කියන මංකොල්ලකෑමකදී 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට පිහි ඇනුමක් සිදුවී ඇති බවයි. කෙසේ වෙතත්, එම නිවසේ උඩුමහලේ නිදන කාමරයක හුස්ම නොගන්නා සහ සිහිසුන් තත්වයෙන් සිටි වෛද්‍ය හැනා කේන්ගේ සිරුර එදින අලුයම සොයාගෙන තිබේ. මූලික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ ඇගේ හිසට සිදුවූ මොට ආයුධයකින් කළ පහරදීමක් සහ ගෙල සිරකිරීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

අපරාධය සිදුවන අවස්ථාවේදී නිවසේ දරුවන් ද සිට ඇති බව රජයේ නීතිඥ ජැකී හැන්ලන් (Jacqui Hanlon) අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරියගේ 45 හැවිරිදි සැමියා වන මාර්ක් කේන් (Mark Cain) ඝාතන චෝදනා යටතේ නොර්විච් (Norwich) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

විනාඩි පහක් පමණක් පැවති එම නඩු විභාගයේදී කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි ඔහු කිසිදු හැඟීමකින් තොරව තම නම පමණක් තහවුරු කර ඇති අතර, දිස්ත්‍රික් විනිසුරු මැතිව් බෝන් (Matthew Bone) විසින් ඔහුව අද දින කිංග්ස් ලින් (King's Lynn) කිරීටක අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. වෘත්තීය වශයෙන් වෛද්‍ය හැනා ටෙරී (Dr Hannah Terry) ලෙස හැඳින්වෙන මෙම වෛද්‍යවරිය, කැමිලා රැජින ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින්ට ප්‍රතිකාර කර ඇති අතර තෝර්න්හැම් (Thornham) හි පිහිටි රූපලාවන්‍ය වෛද්‍ය ආයතනයක ද සේවය කර තිබේ. ඇගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් රජු සහ රැජින ද දැනුවත් කර ඇති බව සඳහන් වේ. ඇයගේ වියෝව හේතුවෙන් ග්‍රිම්ස්ටන් (Grimston) හි පිහිටි ඇගේ සායනය සඳුදා සහ අඟහරුවාදා දිනවල වසා දමා තිබූ අතර, ඇයගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් විසින් ඇය ඉතා කාරුණික, ආදරණීය මවක් මෙන්ම යහපත් වෛද්‍යවරියක් ලෙස සිහිපත් කරමින් සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇත.

Post a Comment (0)
Previous Post Next Post