
රාත්රියේ නින්දේ පසුවෙමින් සිටියදී ඇසුණු ශබ්දයක් හේතුවෙන් අවදි වී, ළිඳට වැටුණු තම සුරතල් බළලා බේරාගැනීමට ගත් කාරුණික උත්සාහයක් අවාසනාවන්ත ඛේදවාචකයකින් නිමාවීමේ සංවේදී පුවතක් වරකාපොළ පොලිස් වසමෙන් වාර්තා වේ. මෙම අමිහිරි ඉරණමට මුහුණ දුන්නේ සිය පියා සමඟ එක්ව බළලා ගොඩට ගැනීමට ළිඳට එබී ආලෝකය ලබාදෙමින් සිටි තරුණියකි.
මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ වරකාපොළ, අල්ගම, මදුරුපිටියේ පදිංචිව සිටි 32 හැවිරිදි කේ. පී. දිනේත්රී ඉමේෂිකා උදානී නම් අවිවාහක තරුණියයි. ඇය සිය පියා, මව සහ බාල සහෝදරයා සමඟ එකම නිවසේ ජීවත් වෙමින්, නිට්ටඹුව කළගෙඩිහේන ප්රදේශයේ පිහිටි අත්වැසුම් නිෂ්පාදන ආයතනයක සේවිකාවක ලෙස රැකියාවේ නිරතව සිටියාය.
පොලීසිය පවසන පරිදි මෙම අවාසනාවන්ත සිදුවීම ආරම්භ වී ඇත්තේ පෙරේදා (20) රාත්රී 10 ට පමණය. සිය නිවසේ කාමරයේ නිදා සිටි දිනේත්රීට නිවස පිටුපසින් බළලුන් දෙදෙනෙකු කෑගසන ශබ්දයක් ඇසී තිබේ. ඉන් එක් බළලෙකු ළිඳට වැටෙන ශබ්දය ඇසීමත් සමඟ වහාම ක්රියාත්මක වූ ඇය, සිය පියා ද සමඟ නිවස අසල පිහිටි ළිඳ වෙත ගොස් ඇත. එම ළිඳ පොළොව මට්ටමේ සිට අඩි තුනක් පමණ ඉහළට ආරක්ෂක බැම්මක් බැඳ ඇති එකක් වුවද, ඇය සිය ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වාගෙන ළිඳ ඇතුළත පරීක්ෂා කර තිබේ.
ළිඳට වැටී සිටින බළලා දුටු පියා සහ දිනේත්රී, ඌ ගොඩට ගැනීම සඳහා ලණුවක් ගැටගැසූ බාල්දියක් රැගෙන සූදානම් වූහ. මේ අතරතුර බළලා ගොඩගැනීමට අමතර සහායක් ලබාගැනීමේ අරමුණින් තරුණියගේ මව අසල්වැසි ඥාතියෙකුගේ නිවසක් වෙත දිව ගොස් ඇත. පසුව පියා විසින් බළලා වෙත බාල්දිය පහත් කිරීමට සූදානම් වෙද්දී, දිනේත්රී ඔහුට පහසුවක් වනු පිණිස ජංගම දුරකථනයේ ආලෝකය යොමු කරමින් ළිඳට නැමී තිබේ. පොලීසිය පවසන්නේ, එලෙස ආලෝකය ලබාදෙමින් සිටි තරුණිය එක්වරම ළිඳ ඇතුළට ඇද වැටී ඇති බවයි.
මව විසින් අසල්වැසි ඥාතියාද කැටුව යළි නිවසට එන විටත් දිනේත්රී ළිඳට වැටී අවසන්ය. වහාම ක්රියාත්මක වූ ඥාතියා ළිඳට බැස ඇයව ගොඩට ගෙන නිට්ටඹුව වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. නමුත් ඒ වන විටත් තරුණිය මියගොස් සිටි බව පොලීසිය සඳහන් කරයි. ළිඳට වැටෙන අවස්ථාවේදී එහි තිබූ කොන්ක්රීට් කොටසක හිස දැඩි ලෙස ගැටීමෙන් හිසෙහි බරපතළ තුවාලයක් සිදුවී තිබූ බවද පොලීසිය පැවසීය.
මියගිය තරුණියගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (21) දහවල් වතුපිටිවල රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු වරකාපොළ පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් කුමාර (39400) නිලධාරියා විසින් සිදු කරනු ලබයි.