අම්පාරේ හිටපු ඇමැතිගේ නගරාධිපති පුතා බඳිනවැයි කියා නිලධාරිනියකට අතවර කරලා


 අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වන හිටපු නගරාධිපතිවරයෙකු විසින් කළමනාකරණ සේවා නිලධාරිනියක වරින් වර ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සැකකාර හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට පරීක්ෂණ පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ අදාළ වින්දිත රාජ්‍ය නිලධාරිනිය විසින් පෙරේදා දිනයේදී සිදු කරන ලද පැමිණිල්ලකට අනුවය.

දැනට වෙනත් ප්‍රාදේශීය සභාවක කළමනාකරණ සේවා නිලධාරිනියක ලෙස සේවය කරන මෙම කාන්තාව, පසුගිය 2021 වසරේදී සැකකරු නගරාධිපති ධුරය දැරූ මහ නගර සභාවේම සේවය කර තිබේ. තමන්ව විවාහ කර ගන්නා බවට සැකකාර හිටපු නගරාධිපතිවරයා පොරොන්දු වී සිටි බව ඇය සිය පැමිණිල්ල මඟින් පොලිසියට ප්‍රකාශ කර ඇත. එම වකවානුවේදී දිනක නගරාධිපතිවරයාගේ නිල කාමරය තුළදී ඔහු තමන්ව පළමුවරට දූෂණයට ලක් කළ බව ඇය විසින් ලබා දී ඇති ප්‍රකාශයේ සඳහන් වේ.

එම අවස්ථාවේදී තමන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් හිටපු නගරාධිපතිවරයා, ඒවා පසුව ඇයගේ ජංගම දුරකථනය වෙත ද එවා තිබේ. තමන් සමඟ අඹුසැමියන් ලෙස දිගින් දිගටම ජීවත් වීමට අකමැති වුවහොත් එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට සැකකරු තර්ජනය කර ඇත. මෙම තර්ජන හමුවේ බියට පත් වූ තමන්ගේ අකමැත්ත මත, හිටපු නගරාධිපතිවරයා විසින් මෙම වසර දක්වාම වරින් වර තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බව ද එම වින්දිත නිලධාරිනිය පොලිසිය හමුවේ වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

තමන් විවාහ කර ගන්නා බවට දුන් පොරොන්දුව සැකකරු විසින් සම්පූර්ණයෙන්ම කඩ කිරීම හේතුවෙන් ඇය දැඩි අසරණභාවයට පත්ව ඇත. මේ හේතුවෙන් දින කිහිපයකට ඉහතදී ඇය සැකකාර හිටපු නගරාධිපතිවරයාගේ පියා වන හිටපු ප්‍රබල අමාත්‍යවරයා හමුවීමට ඔහුගේ නිවසටම ගොස් තිබේ. එහිදී තම පුත්‍රයා විවාහ පොරොන්දු පිට තමන්ව අපයෝජනය කළ ආකාරය සහ නිරුවත් ඡායාරූප පෙන්වමින් සිදුකළ තර්ජන පිළිබඳව ඇය හිටපු ඇමැතිවරයා දැනුවත් කර ඇතත්, ඔහු එම චෝදනා කිසිවක් ගණනකට නොගෙන නොසලකා හැර ඇති බව පොලිසිය පවසයි.

Post a Comment (0)
Previous Post Next Post