
තෙල්දෙණිය මූලික රෝහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ 17 වන දින සවස් කාලයේදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී.චන්ද්‍රපාල මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. සිරුර තිබූ මෝටර් රථයේ දොරගුලු දමා තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට එහි දොරවල් කඩා දමා මළ සිරුර පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. ඇය අම්පාර රෝහලේ භෞත චිකිත්සක නිලධාරිනියක ලෙස සේවය කළ, වැලිගම කුරුඳු කොරටුව පලල්ල යන ලිපිනයේ පදිංචිකාරියක වන රත්නායක පතිරණගේ ශ්‍යාමා දර්ශනී නැමැති 34 හැවිරිදි තැනැත්තියක බව පොලිසිය පවසයි. මෙම කාන්තාව අතුරුදන්ව ඇති බවට ඇයගේ සහෝදරයෙකු විසින් මීට පෙර නුවරඑළිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව තෙල්දෙණිය පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම කාන්තාව මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකු සමඟ නිවාඩුවක් ගතකිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ආපසු පැමිණ ඇති බවයි. ඇය 2026.06.03 වන දින සිට 2026.06.16 වන දින දක්වා කාලය තුළ නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට ද තොරතුරු ලැබී ඇත. තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත මෙම මෘත ශරීරය පිළිබඳව මුලින්ම නාඳුනන පුද්ගලයෙකු ලෙස දුරකථන ඇමතුමක් ලබාදී දැනුම්දීම සිදුකර ඇත්තේ මරණකාරියගේ පෙම්වතා බවට සැලකෙන පුද්ගලයා විසින් බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සැලවීමත් සමඟ තෙල්දෙණිය මහෙස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී. ඊට අමතරව තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී උපුලි බණ්ඩාර මහත්මිය ද එම ස්ථානයට පැමිණ මූලික වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කළාය. මහෙස්ත්‍රාත්වරයා විසින් මෘත දේහය පිළිබඳව පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කර ඇති අතර, ඒ අනුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.