දුරකථන සොරකම් කෙරූ දඹුල්ලේ තරුණිය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරේ


දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් දුරකථනයක් සොරා ගත්  තරුණියක් රුපියල් ලක්ෂයක ශරීර ඇප‍යක්  මත මුදාහැර තිබෙනවා. 

ඒ, සොරා ගන්නා ලද ජංගම දුරකථනය  අයිතිකරුට ලබා දෙන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සම්රුත් ජහාන් විසින් නියෝග කිරීමෙන් අනතුරුවයි.

ජංගම දුරකථන  අලෙවි සැලකට මවත් දියණියත් කුඩා දරුවෙකුද පැමිණ, ඉතා සූක්ෂම ලෙස එහි තබා තිබූ ජංගම දුරකථනයක් දියණිය විසින් සොරා ගන්නා ආකාරයත් තවත් ජංගම දුරකථන උපාංගයක් මව විසින් සොරා ගන්නා ආකාරයත් මෙම වෙළඳසැලේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුනා.

වෙළඳසැල් හිමියන් විසින් ආරක්ෂිත කැමරා පද්ධතියේ සඳහන්ව තිබූ රූප රාමු පෙළ සහ මව සහ දියණිය අතරමගදී වෙළඳසැල් හිමියන්ට දුරකථනය ලබා දුන් ආකාරය පිළිබඳ වීඩියෝපට සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා 

ඒ  අනුව ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරු විසින් දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සොරකම සිදු කළ මව  සහ දියණිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර මෙම වෙළඳසැලේ හිමිකරුවන් අදාළ ජංගම දුරකථනය දඹුල්ල පොලිසියට ලබා දී තිබෙනවා. 

අදාල සිද්ධියට සම්බන්ධ බව කියන මවට විරුද්ධව පැමිණිලිකරු විසින් පැමිණිලි ඉදිරිපත් නොකිරීම නිසා මව අධිකරණයට ඉදිරිපත් නොකළ බව ද  දඹුල්ල පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මෙම ජංගම දුරකථන සොරකම පිළිබඳ නඩුව  ලබන ඔක්තෝම්බර් හත දින නැවතත් විභාගයට ගැනීමට නියමිතයි.

Post a Comment (0)
Previous Post Next Post