බ්‍රසීලයේ අත්හදා බලන්න ගිය ඩෙංගු එන්නතින්(Butantan-DV) මරණ වාර්තාවීමත් සමග අත්හැර දමලා


 බ්‍රසීලයේ ඩෙංගු එන්නත්කරණ වැඩසටහනක් අතරතුර පුද්ගලයන් දෙදෙනෙකු මියයාම හේතුවෙන් ජුනි 8 වනදා එම එන්නත්කරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම සිදුවීම ඉන්දියාවට ද දැඩි අවදානම් සහගත පණිවිඩයක් ලබා දෙන අතර, ඊට ප්‍රධානතම හේතුව වන්නේ බ්‍රසීලයේ භාවිත කළ 'Butantan-DV' නැමැති ඩෙංගු එන්නත සහ ඉන්දියාවේ හඳුන්වාදීමට නියමිත 'DengiAll' එන්නත අතර පවතින දැඩි සමානකමයි.

මෙම එන්නත් ද්විත්වයම සජීවී එහෙත් දුර්වල කරන ලද ඩෙංගු වෛරස් (DENVs) කාණ්ඩ හතරක භෞතික සංයෝගයකින් නිපදවා ඇති ටෙට්‍රාවැලන්ට් (tetravalent) එන්නත් ලෙස සැලකේ.

බ්‍රසීලයේ සහ ඉන්දියාවේ බහුලව දක්නට ලැබෙන ඩෙංගු වෛරසය DENV-1, 2, 3 සහ 4 ලෙස ප්‍රධාන ප්‍රභේද හතරකින් යුක්ත වන අතර, දුර්වල කරන ලද වෛරසයක් ශරීරයට ඇතුළු කළ විට එය විශේෂිත වූ ප්‍රතිදේහ මෙන්ම හරස්-ප්‍රතික්‍රියාකාරී (cross-reactive) ප්‍රතිදේහ ද නිපදවයි. කෙසේ වෙතත්, මෙම හරස්-ප්‍රතික්‍රියාකාරී ප්‍රතිදේහ මට්ටම පහත වැටුණු විට, අලුතින් ශරීරයට ඇතුළු වන ඩෙංගු වෛරසයක් මැඩපැවැත්වීම වෙනුවට එහි ක්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය කිරීමට එය හේතු විය හැක. Antibody-dependent enhancement (ADE) ලෙස හැඳින්වෙන මෙම තත්ත්වය, නිසි ප්‍රතිකාර නොලැබුණහොත් මාරාන්තික ඩෙංගු රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකි බරපතල අවදානමකි.

බ්‍රසීලයේ එන්නත්කරණ වැඩසටහනේදී එන්නත ලබාගත් පුද්ගලයින් 42 දෙනෙකුට දරුණු උදරයේ වේදනාව, නොකඩවා වමනය සහ රුධිරවහනය වැනි බරපතල අතුරු ආබාධ ඇති වූ අතර ඉන් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. බ්‍රසීලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ ලක්ෂ පහකට අධික එන්නත් කළ පිරිසෙන් මෙම අතුරු ආබාධ වාර්තා වී ඇත්තේ 0.008% ක ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් බවයි. එහෙත් සායනික පරීක්ෂණ වලදී මතු නොවූ මෙවැනි රෝග ලක්ෂණ ඩෙංගු රක්තපාත තත්ත්වයට සමාන වීම සහ එක් ජීවිතයක් හෝ අහිමි වීම වෛද්‍ය පර්යේෂකයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

මෙය ඩෙංගු එන්නතක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවූ පළමු අවස්ථාව නොවන අතර, මීට දශකයකට පමණ පෙර පිලිපීනයේ ළමුන් ලක්ෂ අටකට අධික පිරිසකට ලබා දුන් සනොෆි පාස්චර් (Sanofi Pasteur) සමාගමේ 'Dengvaxia' එන්නත ලබාදී වසර තුනකට පසු මෙවැනිම දරුණු අතුරු ආබාධ වාර්තා විය. බ්‍රසීලයේ 'Butantan-DV' සහ ඉන්දියාවේ 'DengiAll' යන එන්නත් දෙකම ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය (NIH) විසින් සංවර්ධනය කරන ලද තාක්ෂණයක් මත පදනම් වී ඇත. වෛරස් ප්‍රභේද හතරම වෙන වෙනම දුර්වල කර අනතුරුව එකට මිශ්‍ර කිරීමේ මෙම තාක්ෂණය බ්‍රසීලයේ ඉන්ස්ටිටියුටෝ බුටන්ටන් ආයතනයට සහ ඉන්දියාවේ පැනසියා බයෝටෙක් (Panacea Biotec) ආයතනය වෙත ලබා දී තිබේ.

බ්‍රසීලයේ සිදුකළ තුන්වන අදියරේ සායනික පරීක්ෂණ වලදී DENV-3 සහ DENV-4 ප්‍රභේදයන් සඳහා එන්නතේ සඵලතාවය පිළිබඳ දත්ත ලබාගැනීමේ අඩුවක් පැවතුණේ, එම කාලය තුළ එම ප්‍රභේදයන් බ්‍රසීලයේ බහුලව ව්‍යාප්ත වී නොතිබූ බැවිනි. මේ අතර, ඉන්දියාවේ පැනසියා බයෝටෙක් ආයතනය සහ ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) එක්ව මේ වසරේ ජනවාරි මාසයේදී නිරෝගී ස්වේච්ඡා සේවකයන් 10,335 දෙනෙකු යොදාගනිමින් 'DengiAll' එන්නතේ තුන්වන අදියරේ සායනික පරීක්ෂණ වලට අදාළ ලියාපදිංචි කිරීම් අවසන් කර ඇත. 2024 අගෝස්තු මාසයේදී ආරම්භ වන මෙම පරීක්ෂණ ක්‍රියාවලියට භාජනය වන්නන් වසර දෙකක කාලයක් පුරා අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට නියමිතය.

Post a Comment (0)
Previous Post Next Post