හොරණ දංගල්ල වලව්වට හොරු පැනලා

 හොරණ, වෑවල ප්‍රදේශයේ පිහිටි ඉපැරණි ‘දංගල්ල වලව්ව’ එහි අපූර්ව ගෘහ නිර්මාණ ශිල්පය හේතුවෙන් කාගේත් අවධානය දිනාගත් ඓතිහාසික වටිනාකමකින් යුත් දේපළකි. ප්‍රකට ව්‍යාපාරික පවුලකට අයත් මෙම නිහඬ වලව් බිමට ඉකුත් දා කඩා වැදුණු පිරිසක් එහි අසූ හැවිරිදි මුරකරුවා බියගන්වා, වලව්වේ ඓතිහාසික දොර ජනෙල්වලට ද දැඩි අලාභහානි සිදුකරමින් වටිනා භාණ්ඩ රැසක් කොල්ලකා තිබේ.

තාප්පයෙන් පැන වලව්වට ඇතුළු වී ඇති මෙම පිරිස සොරකම සිදු කිරීමේදී පැරණි ගෘහ ශෛලියට අනුව නිමවා තිබූ දොර ජනෙල් කඩා බිඳ දමා ඇත. එම පෞරාණික දේපළවලට සිදුවූ හානියේ මූල්‍යමය වටිනාකම නිශ්චිතව තක්සේරු කිරීම පවා අපහසු වී ඇති බව වාර්තා වේ.

මෙම කොල්ලකරුවන් විසින් ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර, විද්‍යුත් කේතල්, ජංගම දුරකතන, සෙටප් යන්ත්‍ර, රැවුල කපන උපකරණ මෙන්ම වානේ ඉනිමං ද වලව්වෙන් සොරාගෙන ගොස් ඇත. සොරකම් කළ භාණ්ඩ ඉතා සොච්චම් මුදලකට විකුණා දැමීමට ඔවුන් කටයුතු කර තිබීම මෙහි ඇති කනගාටුදායකම තත්ත්වයයි. රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් ගලවා, එහි අභ්‍යන්තර කොටස් රුපියල් නවදහසක් වැනි ඉතා සුළු මුදලකට අලෙවි කර තිබියදී පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. සෙසු භාණ්ඩ ද ඒවායේ සැබෑ වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලකට ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට ලබා දී තිබියදී සොයාගැනීමට හැකි වී ඇත.

වලව්වේ හිමිකරුවන් නිරන්තරයෙන් එහි රැඳී නොසිටින අතර, මුරකරුවා විසින් ලබා දුන් දැනුම් දීමකට අනුව ඔවුන් එහි පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මෙම දැවැන්ත සොරකම පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පෞද්ගලික තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය, සොරකමට සම්බන්ධ යැයි කියන සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත. යාලගල, තිබ්බටුගොඩ සහ දොළහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන්ගෙන් දෙදෙනෙකු 24 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් සැකකරු 25 හැවිරිදි අයෙකි.

මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බව කියන මෙම තරුණ සැකකරුවන්, මීට පෙර ද ප්‍රදේශයේ වෙනත් සොරකම් සඳහා සම්බන්ධ වී ඇත්දැයි සෙවීම පිණිස හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

Post a Comment (0)
Previous Post Next Post