
අනුරාධපුර නගරය ආසන්නයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක පිටුපසින් පැමිණි ලංගම බස් රථයක් ගැටීමෙන් සිදුවූ ඛේදනීය රිය අනතුරකින් දස හැවිරිදි පාසල් දැරියකට සිය ජීවිතය අහිමි වී තිබේ.
ඔක්තෝබර් 24 වැනිදා පස්වරුවේ මෙම අනතුර වාර්තා වී ඇත්තේ අනුරාධපුර, තුරුවිල මාර්ගයේදීය. මව සහ දියණිය ගමන් කරමින් සිටි යතුරුපැදිය දහයියාගම වටරවුමේ සිට ‘ගෙවල් 55’ ප්රදේශය දෙසට ධාවනය වෙමින් තිබී ඇත. එම දිශාවටම පිටුපසින් පැමිණි අනුරාධපුරයේ සිට තුරුවිල බලා ධාවනය වූ ලංගම බස් රථයක් යතුරුපැදියේ ගැටීමෙන් මෙම ඛේදවාචකය සිදුව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, විජයපුර ප්රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියකි. අනතුරින් බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇති බව එක් වාර්තාවක දැක්වෙන අතර, අනතුර සිදුවූ ස්ථානයේදීම දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව තවත් වාර්තාවක සඳහන් වේ. කෙසේ වෙතත්, අනතුරින් බරපතළ තුවාල ලැබූ මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්රතිකාර ලබයි.
සිද්ධියට සම්බන්ධ ලංගම බස් රථයේ රියදුරු මේ වන විට සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියේ රථවාහන අංශය මගින් වැඩිදුර විමර්ශන කටයුතු ක්රියාත්මක කරමින් පවතී.