මධ්‍යම ජපානයේ භූමිකම්පාවකින් 22 කට තුවාලයි

 මධ්‍යම රාත්‍රිය නිහඬ වී හෝරා කිහිපයක් ගතවත්ම, මධ්‍යම ජපානය එක්වරම ප්‍රබල කම්පනයකින් අවදි විය. ඉරිදා අලුයම 1:04 ට පමණ සිදුවූ මෙම ප්‍රබල භූමිකම්පාවත් සමඟ බියට පත් මිනිසුන් ගොඩනැගිලිවලින් පිටතට දිව ආ අතර, වෙළඳසැල්වල වීදුරු බිඳී වීදි පුරා විසිරී ගියේය.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන අන්දමට, රික්ටර් මාපකයේ 5.7 ක ප්‍රබලත්වයකින් සටහන් වූ මෙම භූකම්පනය හටගෙන ඇත්තේ බටහිර ෂිසුවෝකා ප්‍රාන්තයේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 40ක් (සැතපුම් 25ක්) පමණ ගැඹුරිනි. කම්පන කේන්ද්‍රයේ සිට ඈතින් පිහිටි ටෝකියෝ අගනුවරට මෙම කම්පනය නොදැනුණද, පුළුල් ප්‍රදේශයක් පුරා එහි බලපෑම පැතිර ගියේය. ෆුජි කන්ද පිහිටි යාමනාෂි, ගිෆු මෙන්ම ඓතිහාසික අගනගර වන කියෝතෝ සහ නාරා දක්වාත්, හමාමත්සු නගරය ඇතුළු අයිචි ප්‍රාන්තය අවට විශාල කලාපයකටත් මෙම කම්පනය දැනී තිබේ.

මෙම ආපදාවෙන් අයිචි සහ ෂිසුවෝකා ප්‍රාන්තවල පුද්ගලයන් විසි දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීන් උපුටා දක්වමින් කියෝඩෝ පුවත් ඒජන්සිය වාර්තා කරයි. ගොඩනැගිලිවලින් පිටතට පලා ඒමට උත්සාහ කිරීමේදී පඩිපෙළවල් මතින් ඇදවැටීම හේතුවෙන්ද ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පෙන්වා දෙයි. ජපන් රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ දර්ශනවල දැක්වුණේ පොත්හල්වල රාක්කවලින් බිමට පතිත වූ පොත් ගොඩවල් සහ වීදි පුරා විසිරී තිබූ බිඳුණු සාප්පු වීදුරු කැබලිය. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

කම්පනයත් සමඟ ප්‍රවාහන ක්ෂේත්‍රයටද බාධා එල්ල විය. ප්‍රවේශම්කාරී පියවරක් ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශවල ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය අඩු වේගයකින් ධාවනය කරවීමට පියවර ගත් අතර, ඇතැම් ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. ආරක්ෂක පරීක්ෂාවන් හේතුවෙන් ටෝකියෝ සහ ඔසාකා යා කරන ටෝකයිඩෝ ෂින්කන්සෙන් මාර්ගයේ ෂිසුවෝකා සහ ගිෆු-හෂිමා දුම්රිය ස්ථාන අතර ධාවන කටයුතු ප්‍රමාද වූ බව දුම්රිය මෙහෙයුම් සමාගමක් වන ජේ.ආර්. සෙන්ට්‍රල් ආයතනය තහවුරු කළේය.

භූකම්පනය අවසන් වුවද අවදානම තවමත් පහව ගොස් නොමැති බව කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවයි. විශේෂයෙන් ඉදිරි දින දෙක තුන ඇතුළුව එළඹෙන සතිය පුරා තවත් ප්‍රබල පසුකම්පන ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් ජනතාව ඒ සඳහා සූදානමින් සිටිය යුතු බව එම ආයතනය අවධාරණය කරයි.

නායයෑම්, ගල් පෙරළීම් සහ වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම ඒජන්සියේ නිලධාරී අයාතකා එබිතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, විද්‍යාඥයන් විසින් දැවැන්ත මෙගා භූමිකම්පාවක් ඇතිවිය හැකි බවට මත පළකරන, ජපානයේ ඇතැම් කොටස් යටින් ප්‍රධාන භූ තැටි දෙකක් හමුවන සාගර අගලක් වන නැන්කායි ආගාධයේ (Nankai Trough) මෙතෙක් කිසිදු පැහැදිලි වෙනසක් නිරීක්ෂණය වී නොමැති බවද ඔහු අනාවරණය කළේය.

Post a Comment (0)
Previous Post Next Post