රක්ෂිත බන්ධනාගාරගත වරුණි බෝගහවත්තගේ වැඩ තහනම්

 රුපියල් බිලියනයකට අධික දැවැන්ත මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙකුගෙන් සිය මෝටර් රථයේ කල්බදු වාරික ගෙවාගත් බවට තොරතුරු අනාවරණය වී, මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනියගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියයි. අදාළ වැඩ තහනම් කිරීමේ නියෝගය මාතර සහ හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇත.

අදාළ පොලිස් නිලධාරිනිය සන්තකයේ තිබූ 'හොන්ඩා වෙසල්' වර්ගයේ මෝටර් රථයක් මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමත් සමග මෙම සැකකටයුතු ගනුදෙනුවේ සුලමුල කරළියට පැමිණියේය.

විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ, අදාළ මෝටර් රථය මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට පොලිස් පරීක්ෂකවරිය මුදල් උපයාගත් ආකාරය අතිශයින් සැකසහිත බවයි. ඊටත් වඩා බරපතළ කරුණ වී ඇත්තේ, අදාළ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇත්තේ මාතර සමුපකාර සමිතියේ සිදුවූ රුපියල් බිලියනයකට අධික මහා පරිමාණ මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු විසින් බවට විමර්ශකයින් විසින් හෙළිදරව් කරගනු ලැබීමය.

මෙම මෝටර් රථය මිලදී ගැනීමට සහ කල්බදු වාරික පියවීමට තමන්ට මුදල් ලැබුණු ආකාරය හෝ ඊට අදාළ නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් තහවුරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය පසුගියදා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Post a Comment (0)
Previous Post Next Post