වරකාපොළ අනතුරකින් තිදෙනෙකු මරුට (photos)

 කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ, මාහේන ප්‍රදේශයට ඇද හැළුණු තද වර්ෂාවත් සමග අද (07) පස්වරුවේ සිදුවූ අතිශය දරුණු රිය අනතුරකින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ කොළඹ දෙස සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනි. පොලීසිය පවසන පරිදි වෑන් රථය, ඉදිරියෙන් ගමන් කළ වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර හටගෙන ඇත.

අනතුරේ ස්වභාවය කොතරම් බරපතළ වී ද යත්, වෑන් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇත. අනතුරින් තුවාල ලැබූ තවත් පස්දෙනෙකු වහාම වරකාපොළ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර, එලෙස රෝහල වෙත රැගෙන යමින් සිටියදී ඒ අතර සිටි කාන්තාවක ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ වනවිට තුවාල ලැබූ සෙසු සිව්දෙනා වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි ඉන් කිහිප දෙනෙකුගේම තත්ත්වය බරපතළ වේ. ප්‍රතිකාර ලබන පිරිස අතර අනතුරට ලක්වූ වෑන් රථයේ රියදුරු ද වන බව පොලීසිය තහවුරු කර ඇත.

සිද්ධියට අදාළව ලංගම බස් රථයේ රියදුරු වරකාපොළ පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. සිදුවූ මෙම ඛේදනීය රිය අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Post a Comment (0)
Previous Post Next Post