'තාත්තගෙ හොඳ යාළුවෙක් මං' කියා 17 සිසුවිය බයික් එකේ නග්ගං යන්න හදලා


 පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී නැවත නිවෙස බලා යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක රවටා, යතුරුපැදියකින් පැහැරගෙන යාමට තැත් කළ හිටපු යුද හමුදා සෙබළෙකු දෙණියාය පොලිසිය විසින් ඉකුත් 14 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් මෙම තරුණිය පැහැරගෙන ගොස් ඇත්තේ ඇය ගෙල පැලඳ සිටි රන් මාලය කොල්ලකෑමේ චේතනාවෙන් බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත.

අදාළ සිසුවිය පන්ති නිමවී පාරේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි මෙම පුද්ගලයා ඇය අසල නතර කර ඇත. තමන් ඇයගේ පියාගේ සමීපතම මිතුරෙකු බව පවසා, නිවස අසලටම ඇරලවන බව පවසමින් ඇයව යතුරුපැදියට නංවාගෙන තිබේ. ඔහුගේ ප්‍රකාශය සත්‍යයක් යැයි විශ්වාස කළ සිසුවිය ද කිසිදු සැකයකින් තොරව යතුරුපැදියේ පසුපස අසුනට ගොඩවී ඇත.

කෙසේ වෙතත්, ආරක්ෂිත හිස් වැසුම් (හෙල්මට්) රහිතව තරුණියක යතුරුපැදියක ගමන් කරනු දුටු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම යතුරුපැදිය නවතා පරීක්ෂා කර තිබේ. එහිදී යතුරුපැදිකරු දැක්වූ පරස්පර අදහස් හේතුවෙන් සැක සිතූ පොලිස් නිලධාරීන් සිසුවියගෙන් ද කරුණු විමසා ඇති අතර, පසුව සිදුකළ දීර්ඝ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා සිසුවියගේ පියා කිසිසේත් හඳුනන්නෙකු නොවන බවයි.

රන්මාලය පැහැරගැනීමේ අරමුණින් මෙම අපරාධය සිදුකළ බව පිළිගත් සැකකරු කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මෑතකදී මොණරාගල ප්‍රදේශයේදී ද මෙලෙසම දැරියක පැහැරගෙන ගොස් ඇය සතු රන් ආභරණ කොල්ලකා ඇති අයෙකු බවට පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳවද පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත, දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

Post a Comment (0)
Previous Post Next Post