
මීගමුව ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් පවතින නිවසක රඳවා සිටි ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනෙකුගේ කටවල් නයිලෝන් නූල්වලින් ගැටගසා, කෑගැසීමට සහ ආහාර ගැනීමට නොහැකි වන සේ අමානුෂික ලෙස හිංසාවට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු මීගමුව මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, එළඹෙන 24 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
ප්‍රදේශයේ සත්ව සුබසාධක ක්‍රියාකාරියෙකු විසින් මීගමුව මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. පොලීසිය සහ සත්ව සුබසාධන ක්‍රියාකාරීන් පිරිසක් එක්ව එම නිවසට ගොස් සුනඛයන් දෙදෙනා මුදාගෙන ඇති අතර, උන්ගේ කටවල්වල තදින් බැඳ තිබූ නයිලෝන් ලණු කපා ඉවත් කිරීමට කටයුතු කර ඇත. අධිකරණ නියෝගයක් මඟින් සුදුසු සත්ව සුබසාධන මධ්‍යස්ථානයක් වෙත භාරදෙන තෙක්, දැනට මාස නවයක පමණ වයසැති මෙම සුනඛයන් දෙදෙනා මීගමුව මූලස්ථාන පොලීසියේ රැකවරණය යටතේ පසුවෙති.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ මෙම ජර්මන් ෂෙෆර්ඩ් සුනඛයන් කුඩා කාලයේදී සුරතල් සතුන් විකුණන ස්ථානයකින් රුපියල් අනූදහසක මුදලකට මිලදී ගත් බවයි. තම දියණිය වෙනුවෙන් ඉදිකරන නව නිවස සමඟ මෙම සතුන් දෙදෙනාද ඇයට භාරදීමේ අරමුණින් තමා ඔවුන් ඇති දැඩි කළ බව හෙතෙම ප්‍රකාශ කර ඇත. රාත්‍රී කාලයේදී මෙම සුනඛයන් නොනවත්වා බුරන බැවින් තමන්ට නිදාගැනීමට නොහැකි බවටත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වන බවටත් අසල්වාසීන් තමා වෙත පැමිණිලි කළ නිසා, කෑගැසීම වැළැක්වීමට රාත්‍රී කාලයට පමණක් මෙලෙස කටවල් බැඳ තැබූ බව සැකකරු වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත් සතුන්ට අවශ්‍ය ආහාර පාන නිසි පරිදි ලබාදුන් බව පවසන සැකකරු, උදෑසන ආහාරය සඳහා කිරි ලීටර් දෙකක පොඟවන ලද පාන් රාත්තල් දෙකක් (එක් සතෙකුට පාන් රාත්තල බැගින්) සහ දිවා ආහාරය සඳහා හාල් කිලෝවක බත් මාළු සමඟ පිළියෙල කර දුන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත, විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් සැරයන් සිසිර (60641) මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.